පූර්විකාව

parallax-people1

ශිෂ්ටාචාරයෙහි පැවැත්ම වූ කලී මිනිස් චින්තනයෙහි උසස් නිර්මාණයකි. ස්වභාව ධර්මයහෙි විශිෂ්ට නිර්මාණයක් වූ මානවයාගේ විකාශනය ස්වභාව ධර්මය මගින් අපේක්ෂිත පරමාර්ථයන්ගෙන් විශේෂයෙන් බැහැර වූවක් බව පෙනෙන්නට තිබේ. මිනිසාගේ පැවැත් ම සත්‍ය වශයෙන් ස්වභාව ධර්මයෙහි පැවැත්ම සමග සමපාත වුවත්, කාලානුරෑපව මිනිසාගේ අභිමතාර්ථයන් සහ අපේක්ෂාවන්ගේ වර්ධනයත් සමග මූලික උපනතීන් වෙනස්ව ගියේය. එ බැවින් අද අප දකින්නේ ස්වභාවධර්මය සමග අනුගත වූ මානව වර්ගයාගේ ක්‍රියාකාරීත්වයක් නොව, ඔවුන්ගේ පැවැත්ම ස්වයං පැවැත්මක් බවට පරිවර්තනය වී තිබේ.

මිනිසාගේ පැවැත්මෙහි ස්වයංජනිත භාවය සමාජ න්‍යායෙහි දී තර්කානුකූලව විග්‍රහ කළ යුතු තත්ත්වයකි. අපගේ උත්සාහය වන්නේ සමාජ ක්‍රමයක් තුළ බහුවිධ චර්යාවක් සහිත පුද්ගලයාගේ ස්වභාවය විග්‍රහ කිරීම ය.

සමාජයක් තුළ ජීවත් වන පුද්ගලයාගේ සතු ප්‍රමුඛාර්ථයන් කිහිපයක් පැවතිය හැකි ය. එ නමුත්, පැවැත්ම ස්ථාවර කිරීම එහි දී නොවැළැක්විය හැකි සහ යථාර්ථවාදී අභිමතාර්ථයක් බව පෙන්වා දිය යුතු ය. පැවැත්ම ස්ථාවර කිරීම සමාජ ක්‍රියාවක් බවට පරිවර්තනය වන්නේ අස්ථාවරත්වය හෝ ස්වභාවික නොපැවැත්ම ස්ථාවර තත්ත්වයක් වන බැවින් ය. පැවැත්ම උදෙසා සිදු කරනු ලබන අරගලය සමාජ කාර්යයක් ලෙස මිනිසා විසින් අර්ථ දක්වනු ලැබේ. මිනිසා විසින් සිදු කරනු ලබන අර්ථකථනයන් තුළ කිසියම් මානවීය පක්ෂපාතීත්වයක් පවතින බැවින් එහි සත්‍යතාව හෝ යථාර්ථවාදීත්වය පිළිබද ගැටළුවක් පවතියි. සමාජ චින්නයෙහි යථාර්ථය ගවේෂණය කිරීම මිනිසා විසින් නෛසර්ගික වශයෙන් සිදු කළ යුතු කාර්යයක් වුවත් එය ද්වීතීක කාර්යයක් බවට පත්ව තිබේ. නො එසේ නම් පුද්ගලයෙකු වශයෙන් තමන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සමාජ ක්‍රමයක් තුළ අර්ථ දක්වන්නේ කෙසේ ද යන්න තේරැම් ගැනීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරයි.

මිනිස් ජීවිතයක් සතුව කිසියම් අර්ථයක් පැවතිය යුතු යැයි අපි විශ්වාස කරමු. අර්ථයකින් තොර වූ මානව පැවැත්ම සමාජ අර්ථදායක නොවේ. ඉපදීම, වියපත් වීම සහ මරණයට පත් වීම යන මූලික අවස්ථාවෙන් අතර මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය ජීවිතය යැයි අර්ථ දක්වනු ලැබේ. එනමුත් මානව පැවැත්මෙහි අර්ථ සම්පන්න බව රදා පවතින්නේ සමාජ ක්‍රමයක් තුළ තමන්ගේ ස්ථානය අවබෝධ කර ගැනීමෙන් ය. මෙය පහසු ක්‍රියාවක් නොවේ. අප විසින් මෙහි දී උත්සාහ කරනු ලබන්නේ උක්ත කාර්ය ස‍්දහා ප්‍රවේශයක් ලබා ගැනීම ය.